විචාරශීලී චින්තනය
මුලාවෙන් ඔබව මුදවන විචාරශීලී චින්තනය.
ඔබේ හිතට නිතර කරදර කරන ගැටලුවක් ඔබට තියෙනවද? උත්තරයක් හිතාගන්න බැරි ප්‍රශ්නයකට උත්තරයක් සෙවීමට ඔබ උත්සාහ කරනවද? වෙනත් අය විසින් ඔබව වංචනික ලෙස රැවටීමකට ලක්කරාවී කියන බයක් ඔබට දැනෙනවද?
අප අවට ඇති සන්නිවේදන (උපකරණ) මාර්ග හරහා නිරන්තරයෙන් අප වෙත තොරතුරු ගලා එනවා. ඒ වගේම ඒවා තොරතුරු වලින් පිරී පවතිනවා. මුහුණුපොත, රූපවාහිනිය, පුවත්පත් ආදිය මෙන්ම ඔබේ ළඟම මිතුරෙකු , අසල්වැසියෙකු ආදී මේ ඕන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ අපි දකින, ඇසෙන තොරතුරු හා අප සමහරවිට විශ්වාස කරන දේ ගැන අපිට බොහොම සැලකිලිමත් වෙන්න වෙනවා. ලැබෙන තොරතුරු සැබවින්ම අවබෝධ කරගන්න නම් හා රැවටීමකට අසු නොවී ඉන්න නම් අපට එම තොරතුරු දෙස “විවේචනාත්මක චින්තනයකින්” බලන්න ඉගෙන ගන්න වෙනවා.
විචාරශීලීව සිතීමේ හැකියාව යනු කුමක්ද?
විචාරශීලීව සිතීමේ හැකියාව කියන්නේ යම් කිසි ගැටලුවක් හෝ ප්‍රශ්නයක් පුද්ගලානුබද්ධ කරගැනීමකින් තොරව (ඒක තමාගේ කරගන්නේ නැතිව), එය විවිධ පැතිකඩ ඔස්සේ බලමින් විග්රහ කරගැනීමේ හා විනිශ්චයන්ට එළඹීමේ හැකියාව.
එතකොට ඔබ කිසිදෙයක්, එය මතුපිටින් පෙනෙන ආකාරයෙන්ම පිළිගන්නේ හෝ තීරණයකට එන්නේ නැහැ. හැබැයි එය කරන්න ඔබට තාර්කිකව සිතීමට හා ප්‍රශ්න කිරීමට හැකියාව තියෙන්න ඕනේ. මෙම කුසලතාවය, අපට ලැබෙන තොරතුරු ගැන හැඟීමක් ඇතිකරගන්න පමණක් නොවේ, අපට අවශ්‍ය වැදගත් හා නිවැරදි තොරතුරු සොයාගන්න, එම තොරතුරු හොඳින් විශ්ලේෂණය කරගන්න උපකාරී වෙනවා. එතකොට ඔබ හරියට “රහස් පරීක්ෂකයෙක්” වගේ. අනෙක් අයට නොපෙනෙන පැතිකඩ ඔබට පෙනෙන්නත්, අවශ්‍ය තොරතුරු ඔබට සොයාගන්නත් හැකියාව මෙම කුසලතාවය මඟින් ඔබ තුල ඇති වෙනවා.
ඔබේ චින්තනය “විචාරශීලී” කරගන්නේ කෙසේද?
ඔබේ හොඳම යහළුවෙක් ඔබට “මේ ඇත්තමයි මම ඔයාට කියන්නේ….”කියලා යමක් කියනවා. ඔබ ඔබේ යහළුවා හොඳින් විශ්වාස කරන නිසා එයා කියන දෙයත් ඒ අකාරයන්ම විශ්වාස කරනවා. ඔබට ඔබ තුල “විචාරශීලීව සිතීමේ හැකියාව” ඇතිකරගන්න ඕනේ නම්, මෙන්න මේ “පුද්ගලානුබද්ධව සිතීම” නැතිකරගන්න ඕනේ. ගැටලුවක් දෙස බැලීමේදී, ඔබේ හැඟීම්, පක්ෂග්‍රාහීත්වය, විශ්වාස සහ අනෙකුත් සියලු කරුණු වලින් මිදී ගැටලුව දෙස බලන්න පුරුදු වෙන්න. හැඟීම්බර නොවී එය විසඳුමක් සෙවීමට ඇති “තවත් එක් ගැටලුවක් ” ලෙස පමණක් දකින්න.
දෙවනුව, තර්කානුකූලව තර්ක කිරීමේ හැකියාව වැඩි කරන්න. එය විය හැකිද? එසේ වන්නේ කොහොමද? මෙහෙම වෙන්න බැරිද? ආදී ලෙස, ඇසුණ පමණින්, දුටු පමණින්, නිගමන වලට එන්නේ නැතිව තාර්කිකව සිතන්න පටන් ගන්න.
ඔබ ඔබට දැනෙන දෙය මත පමණක් පදනම්ව හෝ හැඟීම් මත පදනම්ව අනුමානයෙන් නිගමන වලට පැමිණෙන්නේ නම්, ඔබට නිවැරදිම විසඳුම සොයාගන්න අපහසු වෙනවා. එය හොඳ විශ්ලේෂණාත්මක සිතක් ඇති අය වැඩ කරන විදිය නෙවෙයි. මොකද, එවිට අපි දැකීමට කැමති දෙය පමණයි, අපිට පෙනෙන්නේ. ගැටලුව පිළිබඳව තාර්කිකව සිතීම හා විවාදාත්මකව විග්රහ කිරීම මඟින්, ගැටලුව පැහැදිලි කර ගැනීමට සහ විසඳා ගැනීම ඔබට පහසු වෙනවා. ඔබට, ඔබේ රැකියා ස්ථානයේ හෝ ජීවිතයේ ඕනෑම ගැටලුවක් දෙස තාර්කිකව , හේතු සාධක සහිතව හා සෙමින් විශ්ලේෂණාත්මකව බලන්න පුළුවන් නම්, එම හැකියාව ඔබට විසඳුමක් සොයාගන්න උපකාරී වෙනවා.
අප සතු, යමකට ගැඹුරින් අවධානය යොමු කිරීමේ හැකියාව, විශ්ලේෂණාත්මක හැකියාව, තර්කානුකූලව සිතීමේ හැකියාව, “විචාරශීලීව සිතීමේ හැකියාව” ඇතිකර ගැනීම සඳහා උදව් වෙනවා. මෙම ක්‍රියාවලිය තුලදී ප්රශ්නය හොඳින් තේරුම් ගන්න ඕනේ . ඒ සඳහා අපි අදාල ප්රශ්නය හා තොරතුරු හොඳින් ගැඹුරටම අධ්‍යයනය කරන්න ඕනේ. එවිටයි අපට වඩාත් නිවැරදි හා ප්‍රායෝගික විසඳුමක් සොයාගැනීමට හැකි වෙන්නේ.
විචාරශීලීව සිතීමේ හැකියාවේ පැතිකඩ.
■ ඔබට විසඳීමට තිබෙන ප්රශ්නය හෝ මුහුණ දීමට ඇති ගැටලුව පිළිබඳව වගේම , එයට බලපා ඇති සාධක ආදී සමස්තය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගන්න උත්සාහ කරන්න.
■ චිත්ත ආවේග වලින් බැහැරව තොරතුරු දෙස බලන්න. එවිට ඔබට තවදුරටත් අවශ්‍ය තොරතුරු මොනවාද යන්න තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ලැබී ඇති තොරතුරු වල අඩුපාඩුවක් තිබේනම්, එය වටහාගන්නත් පුළුවන්.
■ සිද්ධියට අදාලව ඔබ තුලින්ම මතුවන ඔබේ පක්ෂග්රාහී සිතිවිලි / හැඟීම් හඳුනා ගන්න. එවිට ඔබේ තීරණයට හෝ විසඳුමට ඉන් සිදුවන බලපෑම නතර කරගන්න පුළුවන්. එමෙන්ම ගැටලුවේ දෙපැත්ත පෙන්වීමට ඔබේ පර්යේෂණ භාවිතා කිරීමෙන් ඔබට මෙම පක්ෂග්රාහීත්වයට එරෙහිව සටන් කරන්න පුළුවන්කම ලැබෙනවා.
■ එමෙන්ම ඔබ තොරතුරු ලබාගන්නා මාධ්‍යය ගැනත් පරිස්සම් වන්න. මොකද එම තොරතුරු ඉදිරිපත් කිරීම තුලත් යම් පක්ෂග්‍රාහීභාවයක් තිබෙන්න පුළුවන්. ඔබ ඔවුන්ගේ අරමුණ දැනගෙන සිටීම වැදගත්. සෑම තත්වයක් තුලම අනෙකා ඉටුකරගැනීමට අපේක්ෂා කරන, අරමුණ කුමක්දැයි දැන ගැනීම හොඳයි.
■ ඔබ ගවේෂණය කර ලබාගත් සෑම තොරතුරකම, අර්ථය හොඳින් තේරුම් ගන්න. එවිට ඒ ඒ කොටස ඔබට විසඳීමට ඇති ප්රශ්නය කෙරෙහි ඇතිකරනු ලබන බලපෑම ඔබට වටහාගත හැකිවනු ඇත.
■ ඔබ සොයාගත් දත්ත, තොරතුරු අංක යොදමින් කොළයක සටහන් කරන්න. ඉන් අනතුරුව එම තොරතුරු වල වැදගත්කම අනුව යළි වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ වගේම ඔබේ ගැටලුවට අදාලත්වයක් නැති හෝ අඩු වැදගත්කමක් සහිත කරුණු ඉවත් කරන්න පුළුවන්.
■ නිතරම කුතුහලයෙන් සිටින්න. කිසිම තොරතුරක් පෙනෙන ආකාරයෙන්ම පිළිගැනීම නොකළ යුතුයි. දීර්ඝ ලෙස පැහැදිලි කිරීමට සිදුවන අකාරයේ ප්‍රශ්න අසන්න පුරුදු වන්න.
■ ඔබ ඔබේ පර්යේෂණය (තොරතුරු ලබාගැනීම) කළ පසු, ඔබ එම තොරතුරු විශ්ලේෂණය කළ යුතුය, සබඳතාවයේ තරම, බලපෑමේ ප්‍රමාණය හා හේතූන් සොයාබැලිය යුතුයි. එය විචාරශීලීව සිතීමයි. ඒ හරහා තමයි ඔබ නිගමනයන්ට පැමිණිය යුත්තේ.
කුතුහලයෙන් පිරුණු හා ප්‍රශ්න කරන මනසක් ඔබට තිබිය යුතුමයි. එවිට ප්‍රශ්න කිරීම හා පිළිතුරු සෙවීමට ඔබ යොමු වෙනවා. එය “විචාරශීලීව සිතන්නෙක්” වීමට ඔබ යන ගමනේ පළමු පියවර බව අමතක කරන්න එපා.