ගැටලු විසඳීම
ඔබේ කණ්ඩායමට විසඳුමක් අවශ්‍ය ගැටලුවක් තිබේද? ඔබට විසඳුම් යෝජනා කිරීමට අවශ්‍යද? ගැටලු විසඳීම රැකියාවක් කරද්දි අපට දෛනිකව සිදු කරන්න වන දෙයක්. අපිට එක් ක්ෂේත්රයක විතරක් නොවෙයි, විවිධ ක්ෂේත්‍ර වල ගැටලු විසඳන්න සිදු වෙනවා. විසඳුම් සොයන්නට දැනුවත්ව ඉන්න ඕනේ.
ගැටලු විසඳීම යනු කුමක්ද?
ගැටලු විසඳීම යනු ක්‍රම, තොරතුරු සහ නිර්මාණාත්මක චින්තනය භාවිතා කරමින් පවත්නා හෝ නව ගැටලු සඳහා විසඳුම් යෝජනා කිරීමේ කලාවයි.
ගැටලු විසඳන්නේ කෙසේද සහ හොඳ ගැටලු විසඳන්නෙකු වන්නේ කෙසේද?
අනෙක් ඕනෑම දෙයක දී මෙන්ම මෙහිදී ද සන්නිවේදනය ඉතා වැදගත් වේ. ගැටලු විසඳීමේදී, ගැටලුව වගේම ගැටලුව ඇතිකරන පුද්ගලයාත් තේරුම් ගැනීම ඔබට වැදගත් වෙනවා. ගැටලුවක් විසඳීමේදී අපි පූර්ව නිගමන වලින් මිදෙන්න ඕනේ (“ඒක මෙහෙම වෙන්න ඇති” ආදී ලෙස). ඒ වගේම හැඟීම්බර වීම හෝ ආවේගශීලී නොවී ගැටලුවට හොඳින් සවන් දී ගැටලුව විසඳන්න උත්සාහ කරන්න. “ඔයා තමයි මෙතන වැරදි” ආදී ලෙස එකිනෙකාට ඇඟිලි දිගු කිරීමෙන් වළකින්න. වරද කළ කෙනාට “තමා වරදක් කරා”ය කියන වරදකාරී හැඟීම තියෙනවා. ඉතින් අපි ඔවුන්ව තවත් අපහසුතාවයට පත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔබ කරන්න ඕනේ එකිනෙකා තවත් අපහසුතාවයට පත් කිරීම නොවෙයි. සියල්ලන් එක්ක එකතුවෙලා ප්රශ්නය විසඳාගන්න උදව් කිරීම හා තත්වය ප්‍රසන්න, යහපත් තත්වයක් බවට පත්කිරීම. මෙහිදී ඔබේ කාරුණික බව හා සංවේදී බව ඉතාම වැදගත්. ගැටලුවට මැදි වූ පාර්ශවයන්ගේ හැඟීම් හොඳින් තේරුම් ගැනීමට එය පැවතිය යුතුයි. එමෙන්ම ඔබ ගැටලුව විසඳීමේදී එය ඔවුන්ගේ පැත්තේ සිට කරන්න, ඒ බව ඔවුන්ට දැනෙන එක හුඟාක් වැදගත්.
ගැටලුවට ඇහුම්කන් දීමේදී, එක් එක් පුද්ගලයාගේ අභිලාෂයන් පවතින්නේ කොතැන දැයි බැලීමද වැදගත්. සමහර විට, ඔවුන් සමහර තොරතුරු අපට කියන්නේ නැහැ. එහෙම වෙලාවට අපි ඒ තොරතුරු සොයා ගැනීමට උත්සාහ කරන්න ඕනේ. එසේ නොකියන්න හේතුව භය හෝ ලැජ්ජාව නිසා වෙන්න පුළුවන්. ඒ වගේම එම පුග්දලයා එම තත්වයට පත්වූයේ ඇයි? කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් නම්, ගැටලුව විසඳන්න එය ප්‍රයෝජනවත් වෙනවා.
ගැටලු විසඳීමේ මූලිකාංග
■ ගැටලු විසඳීමේදී ක්‍රියාකාරී සවන්දීම අත්‍යවශ්‍ය වේ. සවන් දීමේදී අපි අපේ සම්පූර්ණ අවධානය ඒ කෙරෙහි දෙන්න ඕනේ. නැත්නම් වටිනා දේවල් අපිට මඟ හැරෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි දක්වන ප්‍රතික්‍රියාවේ වරදක් වෙනවා. අපට අපේම උපකල්පන තියෙනවා. එතකොට අනෙක් කෙනා කියන දෙයම නෙවෙයි අපිට ඇහෙන්නේ, අපි හිතන දේ. ඒ ගැන ඔබ පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම මෙහිදී අනිකා කතා කරන විට සිතින් දිය යුතු පිළිතුරු ගැන සිතන්න එපා. නිදහසේ කියන දේ පමණක් හොඳ අවධානයෙන් අසා සිටින්න . ඔවුන් කියන දෙය, ඔවුන්ගේ ශරීර භාෂාව සහ ඔවුන් නොකියන දෙයට ඕනෑකමින් සවන් දෙන්න. ඔවුන් කතා කිරීම නැවැත් වූ පසු, ඔබ දිය යුතු පිළිතුර ගැන ඔබට සිතන්න පුළුවන්.
■ ඔබ පිළිතුරක් දීමට මත්තෙන් අනෙකා විසින් කී කරුණු වල සාරාංශය ඔබේ වචනයෙන් කියන්න. එය ඔහු ඔබට ප්‍රකාශ කළ දේවල්, ඔබ නිවැරදිව තෙරුම් ගත්තේද? යන්න පැහැදිලි කරගැනීමටත් , අත්හළ කරුණු වේ නම් ඒවා යළි අසාගන්නටත් , ඔබ වැරදි ආකාරයට තේරුම් ගත් දෙයක් තිබුණහොත් ඒවා නිවැරදි කරගන්නටත් උපකාරී වෙනවා. එසේ නොකර ඔබට ඇසුන දෙය මත හෝ ඔබ එය තේරුම් ගත් ආකාරය මත ඔබේ පිළිතුර ලබා දුන්නොත් , එය පසු කාලීනව ගැටලු ඇති කරන්න ඉඩ තියෙනවා. හේතුව ඔබ වැරදි අවබෝධයක් මත ක්‍රියාත්මක වී ඇති නිසා.
■ ඉන් අනතුරුව පැවසූ දෙය හා පැවසිය යුතුව තිබූ දෙය ගැන, තාර්කිකව සිතන්න. හැඟීම්බර හෝ ආවේගශීලී නොවීම වැදගත්. නැත්නම් අපිට පසුව ඒ ගැන පසුතැවෙන්න වෙනවා. ඔබේ තාර්කික පිළිතුර, යෝජනාව, අදහස සෙමින් හා ගෞරවාන්විතව ප්‍රකාශ කරන්න. නිතරම සෙමින් කතා කරන්න. එවිට ඔබ සැබවින්ම දොස් පැවරීමට හෝ ඇඟිලි දිගු කිරීමකට වඩා විසඳුමකට එළඹීමට උත්සාහ කරන බව අනෙක් පුද්ගලයාට දැනෙනවා.
■ හැකි නම්, ගැටලුව විසඳීම සඳහා එකට එක්ව වැඩ කරන්න. ඔබ විසඳුමක් යෝජනා කළ පසු, එය විසඳීම සඳහා පුද්ගලයා සමඟ වැඩ කිරීම ඔබට ප්‍රයෝජනවත් විය හැකිය. මෙයින් පෙනී යන්නේ ඔබ ඔවුන්ගේ අපහසුතාවය ගැන සංවේදී බවත් විසඳුම සොයා ගැනීමට ඔබ කැපවී සිටින බවත්ය.
ජීවිතයේ ඕනෑම තත්වයකදී ගැටලු නිතරම පැනනගිනවා. ගැටලු හමුවේ බිඳ වැටීම හෝ දොස් පැවරීමේ ක්‍රීඩාව පහසු වුණත්, එයින් ගැටලුවට විසඳුමක් ලැබෙන්නේ නැහැ. අපි අපගේ අරමුණු කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර එය ජයගැනීමට හොඳම ක්‍රමය සොයාගත යුතුයි. කණ්ඩායමක් ලෙස වැඩ කිරීම, අපි පැත්තක් ගෙන අනෙක් පැත්තට ඇහුම්කන් දීම ප්‍රතික්ෂේප කරනවාට වඩා වේගයෙන් එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාරී වේ.